ආණ්ඩුව යන ගමන වැරැදියි

ආණ්ඩුව යන ගමන වැරැදියි


(සාකච්ඡා කළේ – චමින්ද මුණසිංහ)යුද ජයේ අටවැනි සැමරුම, ජාතික ආරක්‍ෂාව අර්බුදයකද? රටේ දේශපාලන තත්ත්වය, යහපාලනය, ජනාධිපති සමග එකඟතාවක ඉන්නවාද? දේශපාලනයට එනවාද? යනාදී කරුණු සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

 

ප්‍රශ්නය:- යුද ජයග්‍රහණයේ අටවැනි සැමරුම පසුගියදා සැමරුවා. යුද ජයට උරදුන් කෙනෙක් හැටියට මොකද හිතෙන්නේ?
පිළිතුර:- ලොකු සතුටක් ඇත්තටම දැනෙනවා. අපේ රටේ ඕනෑම පුද්ගලයකුට කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් නැතිව ඕනම තැනකට යන්න එන්න පුළුවන් වාතාවරණය ඇති වී තිබෙනවා. මේ රටේ නායකයන්ටවත් රටේ සමහර ප්‍රදේශවලට යන්නට නොහැකි වාතාවරණයක් කාලයක් තිබුණා.

ඒ ප්‍රදේශය කුඩා නැහැ. වව්නියාවෙන් ඉහළට කිසිම කෙනකුට යන්න හැකියාවක් තිබුණේ නැහැ. නැගෙනහිර පළාතේ බොහෝ තැන්වලට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. රටේ අනෙක් ප්‍රදේශවල පවා ගමන් බිමන් ගියේ අතිශය බියකින්. මෙවැනි තත්ත්වයක් නැතිකර වසර අටක් තිබීම සංතෝෂයට කාරණයක්.
ප්‍රශ්නය:- එහෙමනම් ජාතික ආරක්‍ෂාව බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවට නගන චෝදනා පදනම් විරහිතයි නේද?
පිළිතුර:- තිබෙන තර්ජනය ගැන යම් කෙනකුට අවබෝධයක් නැත්නම් ඒක විශාල ප්‍රශ්නයක්. රටක නායකයන්ට රටේ ආරක්‍ෂාව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අද ලෝකයේ ඕනෑම රටකට විශාල වශයෙන් තර්ජන තිබෙනවා. සිංගප්පූරුව ආදී ඉතා දියුණු ආරක්‍ෂක ක්‍රමවේද අනුගමනය කරන රටවල පවා නායකයන් ඉන්නේ මේ තර්ජනය ගැන හොඳ අවබෝධයකින්. තර්ජනය ගැන අවබෝධයක් නැතිනම් ඒක විශාල ප්‍රශ්නයක්. යුද්ධයෙන් පසු වසර පහක් පමණ මම ආරක්‍ෂක ලේකම් ලෙස සිටියා.

ඒ කාලෙදි උතුරෙ සහ නැගෙනහිර ත්‍රස්තවාදී තත්ත්වය නැවත මතු නොවන ආකාරයට, එසේ මතුවනවා නම් ඒ ගැන විශේෂ දැනුවත් කිරීමටත් සුවිශේෂ ක්‍රමවේද යොදා තිබුණා. එය සාමාන්‍ය ජන ජීවිතයට බලපාන ආකාරයකින් ක්‍රියාත්මක වූවක් නොවෙයි. කාටත් නොදැනෙන ආකාරයට ඒ වැඩ සිදු වුණා.

එදා අපි එහෙම කළ නිසා අද ඉන්න නායකයන්ටත් උතුරට ගිහින් කතා කරන්න අවස්ථාව උදාවී තිබෙනවා. මේවා ක්‍රමයෙන් විනාශ කරගන්න යනවා නම් ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත් මේතාක් කල් යම් යම් දේ සිදු නොවීම සතුටට කාරණයක්.


ප්‍රශ්නය:- මේ පසුබිම යටතේ අද දවසේ දේශපාලනය ගැන ඔබේ කියවීම මොකද්ද?
පිළිතුර:- පෞද්ගලිකව මිනිස්සුන්ට බැන බැන, හිරිහැර කර කර කරන දේශපාලනයක් අද තිබෙන්නේ. ඒකෙන් රටට කිසිම යහපතක් නෑ. සෑම තරාතිරමක කෙනෙක්ම අද කලකිරිලා. මේ අයට ඡන්දය දුන් අයම වෙනසක් සොයන බව අද කියනවා. එහෙම නැති කෙනෙක් සොයාගන්න අමාරුයි. අද යන ගමන වැරැදි කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. බලයේ ඉන්න අය තමන්ට සංතෝෂ වෙන්න කතා කර කර ඉඳල වැඩක් නෑ.

ප්‍රශ්නය මොකද්ද? ජනතාව කලකිරී ඉන්නේ ඇයි? යනාදිය ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. අද රටේ ආර්ථිකය, සංවර්ධනය, ජනතාවගේ ජීවන තත්ත්වය, විරැකියාව තිබෙන්නේ කොතනද? යන කරුණු අවංකවම තේරුම් ගන්න ඕන. එහෙම නැතිව හිටපු අයට, විරුද්ධ පක්ෂයට බැනලා වැඩක් නෑ. තමන්ගේ සතුටට කතා කියලා රටක් පාලනය කරන්න බැහැ.

2005 දී අපි බලයට ආවම තිබූ ප්‍රධාන ප්‍රශ්නය මොකද්ද කියා වටහා ගත්තා. ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක වුණා. වසර ගණනාවක් කරන්න බැරි වූ දේ අපි කළා. තමන් යුද්ධ කළ බව අද විවිධ පුද්ගලයන් කියනවා. සරත් ෆොන්සේකා වුණත් අපට ඉස්සර දශක දෙක තුනක් යුද්දෙදි සිටියා. හැම තනතුරක්ම දැරුවනේ. ඔය කරපු ගාණෙන් සියයට දහයක් එදා කරගන්න බැරිවුණේ ඇයි? යාපනයේ ආඥාපති වෙලා සිටියා. යාපනයෙන් විත්ඩ්‍රෝ වෙන්න කියලත් එයා උපදෙස් දුන්නනේ. මුලතිව් කඩාගෙන වැටුණේ එයා සිටි කාලෙ. එලිෆන්ට්පාස් විත්ඩ්‍රෝ කළෙත් එයාගෙ කාලෙ. සියලු නිලධාරින් ඉඳලත් එදා කරන්න බැරිවුණේ ඇයි? අපි ඒ ප්‍රශ්න, වැරැදි තේරුම් අරන් ඒවට පිළිතුරු සැපයුවා.

අද ඔය මහ ලොකුවට කෑ ගැසුවට හමුදා මූලස්ථානය ආරක්‍ෂා කරගන්න එයාට බැරි වුණා. මරාගෙන මැරෙන කාන්තාවක් හමුදා මූලස්ථානය ඇතුළට ඇවිත් හමුදාපතිට බෝම්බ ගැසුවා. එහෙම නම් ආරක්‍ෂාව කොතරම් දුර්වල වෙලාද? මොන කයිවාරු ගැහුවත් එහෙම දේවලුත් වුණු බව එයා තේරුම් ගන්න ඕන. ඒ නිසා අභූත කතා  කියන්න නරකයි. අනෙක් සියලු දෙනා කළ මෙහෙය ගැන මෙයාට අවබෝධයක් නෑ. එහෙම නම් අවුරුදු 38ක් මෙයා මොනවද කළේ? කිසිම කෙනෙක් අනෙක් අය කළ මෙහෙය අවතක්සේරු කිරීම හෝ තමන් කළ දේ අධිතක්සේරු කිරීම සම්පූර්ණයෙන් වැරදියි. මේවා ගැන අවබෝධයක් තිබෙන්නට ඕන.
ප්‍රශ්නය:- ජනතාව කලකිරී සිටින බවත් රටේ මොකුත් වෙන්නෙ නැති බවත් ඔබ කිව්වා. හැබැයි යහපාලනය රටේ ඇතිවී නව ගමනක් යනවා. ඒ ඇත්ත දකින්න ඔබලා කැමැති නැතිද?
පිළිතුර:- යහපාලනය කියා වචනයෙන් අර්ථ දක්වලා වැඩක් නැහැ. දූෂණය දූෂණය කියන මුවාවෙන් අද කරන්නේ දේශපාලන මංකොල්ල කෑමක්. දේශපාලනයේ තමන්ට විරුද්ධ පුද්ගලයන් තලාපෙලා පීඩනයට ලක්කිරීමක් තමයි මේ කරන්නේ. මට නඩුවක් දමා තිබෙනවා. මම ගත්ත තීරණයක් දූෂණයක් බවට මට චෝදනා නගා තිබෙනවා. මම ගත්ත තීරණය නිසා රටට විදේශ විනිමය ලැබුණා. විශාල පිරිසකට රැකියා ලැබුණා. මේ තීරණය මීට පෙර කවුරුවත් අරන් තිබුණේ නැහැ. මම අලුතෙන් ගත්ත තීරණයක් එතෙක් රජයට පාඩු වුණාලු. හැබැයි ඊට පෙර එහෙම ආදායමක් රජයට ලැබුණේ නැහැ. මෙහෙම කළාට පදනම් විරහිතව මට නඩු පවරලා. මේක කරල තියෙන්නේ කෙළින්ම මගෙන් පලිගන්න. මේ ආණ්ඩුව ගෙන තිබෙන අනෙක් පියවර හුදෙක්ම දේශපාලන පලිගැනීම් වෙනුවෙනුයි.

දූෂකයො අල්ලනව කියා විරුද්ධ දේශපාලනඥයන් ඇල්ලීම යහපාලනයක්ද? දූෂණය අල්ලනවා කියන මුවාවෙන් අද කරන්නේ දේශපාලනික දඩයමක්. කොමිෂන් පත්කිරීම යහපාලනයක්ද? පොලිස් කොමිසමට පත් කරන්නේ කවුද? දේශපාලකයන් කොටසක් එකතුවෙලා දඩයම් කරන්නේ කවුද? කියා තීරණය කරනවා. මේක යහපාලනයක් වෙන්නේ කොහොමද? රටේ තිබෙන ක්‍රමවේදය පාවිච්චි නොකර වෙනත් ක්‍රමවේදයක් පාවිච්චි කර දේශපාලනඥයන් කොටසක් එකතු වී තමන්ගේ විරුද්ධවාදීන් දඩයම් කරනවා. මේක සාධාරණද? මේ නිසා බොරුවට වචන යොදාගෙන ඒවාට මුවාවී විරුද්ධ දේශපාලනඥයන්ගෙන් පලිගැනීම යහපාලනයක් නෙමෙයි.
ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වට මේ ආණ්ඩුව ආණ්ඩුවේ වැරැදිත් සොයනවා නේද? බැඳුම්කර කොමිසම උදාහරණයක්. එහෙම නම් විරුද්ධවාදීන්ගෙන් පලිගන්නවා කියා චෝදනා කරන්නේ කොහොමද?
පිළිතුර:- ඒ කොමිසම හොරු හොරු නෙමෙයි කියන්න හදනවා නම් ඒක යහපාලනය නෙමෙයි. කොමිෂන් පත්කරන්න පුළුවන්. සෑම කාලයකම ඔවැනි කොමිෂන් පත්වුණා. එහෙම කතා කරනවා නම් අවතැන් වූවන් පිළිබඳ සොයා බලන්න කොමිසම පත්කළේ අපි.
ප්‍රශ්නය:- ආර්ථික ප්‍රශ්න ඇතුළු තව බොහෝ ප්‍රශ්න තිබෙන්නේ පසුගිය ආණ්ඩුවේ වැරැදි නිසයි. ඔබලාගේ ආණ්ඩුව ගත් ණය ගෙවන්නේ මේ ආණ්ඩුව නේද?
පිළිතුර:- ඒවා නිදහසට කරුණු නේ. කරගෙන ආ සංවර්ධන කටයුතු මේ අය සම්පූර්ණයෙන් නැවැත්තුවා. ඒ නිසා ආර්ථිකය වැටුණා. සාමාන්‍ය පුද්ගලයකුටවත් හිතන්න බැරි තරමේ අදූරදර්හී වැඩ මේ අය කළා. ගුවන් තොටුපොළක වායුසමීකරණය කළ ගබඩා ඇතුළට වී දමන තැනට යාමෙන්ම මේ අයගේ අදූරදර්ශී කටයුතු පැහැදිලි වෙනවා. වරාය නගරය නැවැත්තුවා. චීනයේ ආධාර හෝ ණය මත කරගෙන ගිය ව්‍යාපෘති අතරමග නැවතුනා. ඒ විතරක් නෙමෙයි මේ රටේ මුදල් යොදවා කළ සංවර්ධන වැඩත් නැවතිලා.

මහ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මම ආරම්භ කළේ ලෝක බැංකුවේ සහනදායි ණයකින්. ඒ ණය දුන්නේ එදා ලෝක බැංකු නියෝජිතවරිය මගේ ළඟට ඇවිත්. අවශ්‍ය ව්‍යාපෘති සොයා බලා, ඒවා අධ්‍යයනය කර අවශ්‍ය වාර්තා සකසා ලෝක බැංකුවෙන් මුදලුත් අනුමත කර වසර පහක ව්‍යාපෘතියක් ආරම්භ කළා. මුල් වසර තුනේදී මගේ යටතේ සියලු දේ කළා. එහෙත් ඉන් පසු වසර දෙකේ කිසිම දෙයක් වුණේ නෑ. අද ඒ ව්‍යාපෘතිවලටම දේශපාලඥයන්ගේ නම් දමා ආරම්භක දිනය 2016 ලෙස යොදා බෝඞ් ගසා තිබෙනවා.

මෙහෙම රවට්ටන්නේ කවුද? ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළේ ඇයි? මේ ව්‍යාපෘතිවලට සැලසුම් තිබෙනවා. මුදල් තිබෙනවා. මේ සැලසුම් මගේ නොවෙයි. මේ අවශ්‍යතා මගේ නෙවෙයි. මේවා තෝරා ගත්තේ අදාළ පළාත් පාලන ආයතනවල නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්.

සුළු වැස්සකටත් කොළඹ අවට සමහර ප්‍රදේශ මාර්ග යටවුණා. ඒවා ගැන සොයා වේරැස්ස ගඟ සංවර්ධන ව්‍යාපෘතිය මම ආරම්භ කළා. මේකට යෙදෙව්වේ ලංකාවෙ මුදල්. මෙහි සියලු සැලසුම් සකස් කළේ ලාංකික ඉංජිනේරුවන්. මේ ව්‍යාපෘතිය නතර වී තිබුණා. දැන් මන්දගාමීව ඉදිරියට යනවා. මේවගේ ව්‍යාපෘති නතර කළ නිසා තමයි අද මේ තත්ත්වයට වැටිලා තිබෙන්නේ. ණය හින්දා නෙමෙයි.

ඒ වගේම මේ ව්‍යාපෘති එදා කරගෙන ගිය නිලධාරීන් එක්කෝ මහින්දගෙ මිනිස්සු නැත්නම් ගෝඨගෙ මිනිස්සු කියා අයින් කළා. මේ නිලධාරීන් ඊට පෙර ආණ්ඩුවලටත් සේවය කළ අය. දක්ෂ නිලධාරීන් මාරු කළා. මෙහෙම කොහොම ද ව්‍යාපෘති ඉදිරියට යන්නේ. ඔහොම තමයි සංවර්ධනය අඩාල වුණේ. ඊට පසුව මේ රජය අත්ථනෝමතික තීරණ ගත්තා. ඒවා හරහා ආර්ථිකයට විශාල බලපෑමක් කළා.

විදේශ ආයෝජන නතර වුණා. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස මම ගෙනාපු කොළඹ තිබෙන හෝටල් හා අනෙක් සංවර්ධන ව්‍යාපෘති හැරුණාම මේ රජය ගෙනාපු එක විදේශ ආයෝජනයක් කෝ. බැරෑරුම් තීරණයක් අරගෙන ෂැංග්‍රිල්ලා ගෙනාවේ මම. ඒ ව්‍යාපෘතිය ළඟට තිබෙන අයි.ටී.සී. ව්‍යාපෘතිය ගෙනාවා. කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබෙන ටාටා ව්‍යාපෘතිය ගෙනාවේ මම. ඒ අසල තිබෙන ජෝන් කීල්ස් ව්‍යාපෘතිය අරඹන්න විශාල සහයක් මම දුන්නා. නවලෝකය අසල තිබෙන ව්‍යාපෘති තුනම ගෙනාවේ මම.

කොම්පඤ්ඤවීදිය දුම්රිය පොළ ආසන්නයේ ඇති ව්‍යාපෘතියත් ආරම්භ කළේ මම. මේවා හැරුණාම මේ අය අලුතෙන් ගෙනා විදේශ ආයෝජන කෝ. හැබැයි අපට බනිනවා. මේවා ගෙනාවාම ආර්ථිකය කඩාවැටෙන්නේ කොහොමද? මේවා ගැන කවුද කතා කරන්නේ.
ප්‍රශ්නය:- ඔබත් ජනාධිපතිවරයාත් අතර යම් එකඟතාවක් ඇතිව තිබෙනවා නේද?
පිළිතුර:- එහෙම එකක් නැහැ. මීට අවුරුද්දකට විතර කලින් නම් ජනාධිපතිතුමා හමුවුණා. ඒත් දේශපාලනය ගැන කතා කළේ නැහැ. විවිධ ප්‍රශ්න හා උද්ගතව තිබූ තත්ත්වය ගැන කතා කළා. ඊට පසුව මට එතුමා හමුවුණේ නැහැ.
ප්‍රශ්නය:- හැබැයි ඔබවද මැදිහත් කරගෙන දෙපාර්ශ්වය එකඟතාවකට යන්න ඕන කියන අදහසක් මතුව තිබෙන්නේ නිකම්මද?
පිළිතුර:- මම දන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා කියලා කියනවා. හැබැයි මම එක්ක ඔය කවුරුවත් කතා කරලා නැහැ. දේශපාලනයට සම්බන්ධ නැති අය නම් කතා කරලා තිබෙනවා. ඒකාබද්ධයෙන් හෝ අනෙක් පාර්ශ්වය මේ ගැන මාත් එක්ක කතා කර නැහැ. ඒක තමයි ඇත්ත.

දේශපාලනයට එන්න මගේ අදහසක් තවම නැහැ. හැබැයි මම එන්න ඕන අපේ බලාපොරොත්තුව ඔබ කියලා හමුවන අය මට කියනවා. දැන් ඉන්න දේශපාලනඥයන් දකින විට ජීවිතේට දේශපාලනය කරන්න හිතෙන්නේ නෑ. හිටපු නායකයා එල්ලලා මරන්න ඕන කියන දේශපාලනයකට මමත් එන්න ඕනද? එහෙම දේශපාලනයකට මම කවදාවත් එන්නේ නැහැ.
ප්‍රශ්නය:- එහෙම නම් වියත් මගේ ඔබ පියමන් කරමින් සිටින්නේ ඒ ගමන නොවේද?
පිළිතුර:- නැහැ “ටෙක්නොක්‍රෙසි ඉන් ඇමෙරිකා” නමින් පොතක් පසුගිය දා පළවී තිබුණා. ඇමෙරිකාවේ පවා වෘත්තීයවේදීන් රාජ්‍ය පාලනයේදී සම්බන්ධ වී ප්‍රමාණවත් නැති බව මෙහිදී පෙන්වා දී තිබෙනවා. සිංගප්පූරුව හා චීනය උදාහරණයට ගෙන තිබෙනවා. චීනය වේගයෙන් දියුණු වූ ආකාරය පෙන්වා දී තිබෙනවා. මේ රටවල දියුණුවට වෘත්තිකයන් පාලන තන්ත්‍රයට සම්බන්ධ වී ඇති ආකාරය පෙන්වා දී තිබෙනවා. මම කියන්නෙත් මේ රටේ ඕනෑම රජයකට සාර්ථක වෙන්න ඕන නම් වෘත්තිකයන් සම්බන්ධ කර ගන්න ඕන කියලයි. වෘත්තිකයන් ඈත්කර දේශපාලනඥයන් පමණක් රට පාලනය කරන්න ගියොත් කවදාවත් ඒ රට ඉදිරියට යන්නේ නැහැ.

මෙම වියත් මඟ හරහා කරන්නේ මට බලයට ඒමට පසුබිම හැදීමක් නෙමෙයි. රාජ්‍ය පාලනයට ඍජුවම සම්බන්ධ විය යුතු බවට වෘත්තිකයන් දැනුමත් කිරීමත් මෙහි ප්‍රමුඛ කරුණක්. ඕනෑම රජයකට ප්‍රයෝජන ගැනීමට එවැනි වෘත්තිකයන් දැනුවත් කර ප්‍රශ්න පිළිබඳ අධ්‍යයනය කර යම් ක්‍රියාදාම සකස්කර තිබීම වැදගත්.

අවශ්‍ය නම් එය පාවිච්චි කරන්න පුළුවන්. මේ ආණ්ඩුවට පවා මේ වෘත්තියන් පාවිච්චි කරන්න පුළුවන්. මේ රජය පෙරළා බිහිවන අලුත් රජයක් මේ ක්‍රමයටම යනව නම් වැඩක් නැහැ. ඉදිරි අඩියකට යන්න ඕන. ඒ අඩියට තමයි මේවා හදන්නේ. ඉදිරියේදී එන නායකයා කවුද කියන්න මම දන්නේ නැහැ. ඒ ගැන මට ප්‍රශ්නයක් නැහැ

2017 ජුනි මස 05 වන සඳුදා ලංකාදීප වෙබ්අඩවියෙනි

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 142 posts in වෙනත් category
Recommended for you
කොන්ඩම් දැම්මත් ලිංගාශ්‍රිත රෝග

  ලිංගාශ්‍රිත රෝග ව්‍යප්තිය මෙරටේ බොහෝදෙනාට නොපෙනෙන  සැගවී ඇති බරපතල වසංගතයක් බවත් එක සහකරුවෙක් එකසහකාරියක්...

%d bloggers like this: